Chapter 3 - 03

සුදු පාට පොකට් කලිසමට කලු ටීශර්ට් එකකුත් ඊට උඩින් ලෙදර් ජැකට් එකත් ඇඳලා; කොණ්ඩෙට එයාලගෙ අලුත්ම නිශ්පාදනය උනු ENIGMA Hair Mist එකෙන් ටිකක් ස්ප්‍රේ කරගෙන අතින් අවුල් කරගත්තු මහිත් ඊළඟට වම් අතේ Cartier අත් ඔරලෝසුවත් බැඳගෙන කණ්ණාඩියෙන් පේන තමන්ගෙම රූපෙ විශ්ලේෂණය කරන්න ගත්තා.....

"ම්ම්ම්....ගුඩ්..."

කණ්ණාඩියෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය ගැන සෑහීමකට පත් උනු බැල්මකින් බයික් එකේ යතුර අතට ගත්තු මහිත් සිංදුවකුත් මුමුණමින් පහලට බැස්සා.....

සවින්ද එවපු ඇඩ්‍රස් එකේ තිබුණු ඇනෙක්ස් එක හොයාගන්න මහිත්ට මහ වෙලාවක් ගියෙ නෑ.... ඊලඟ පියවර මොකද්ද කියලා හරි අදහසක් නැතුව හෙමින් ඇනෙක්ස් එක පහුකරගෙන යන ගමන් මහිත් කල්පනා කළේ ඊළඟට මොකද්ද කරන්නේ කියලයි...

කොල්ලා නම් ගෙදර නෑ වගේ... තමන්ටම මුමුණගත්ත මහිත් පටු පාරක පිහිටලා තිබුණු ඇනෙක්ස් එක පහු කරන් පාරෙ කෙලවරටම ගිහින් ආයෙම බයික් එක හරවගෙන තරමක් වේගෙන් ආවෙ ආයෙම ගෙදර යන්න හිතාගෙන.....

බ්රාස්...

ඇනෙක්ස් එක දිහා බලාගෙන ආව මහිත්ගෙ දර්ශන තලේට පාර පැනපු බලු තඩියා මගෑරුණා....මහා සද්දයක් එක්ක බ්‍රේක් ගහපු මහිත් පාර දිගේ ඇතිල්ලිලා ගියේ බයික් එකත් එක්කමයි....

"ම්ම්ම්හ්....ආහ්හ්...ස්ස්."

"අයියේ අවුලක් නෑ නේද...."

විනාඩි ගාණකට පස්සෙ මූණෙ ගෑවුණු සීතලක් එක්ක හෙමි හෙමින් ඇස් අරින මහිත්ට නුහුරු කටහඬකින් අහනවා ඇහුනා....

"අහ්...ලොකු අවුලක් නෑ මල්ලි... අහ්...ස්ස්...ම්ම්..... මොකද වුණේ මට????"

"අයියා වැටුනු වෙලාවෙ ෆේන්ට් උනානෙ..... වටේ හිටපු මාමලා දෙන්නෙක් එකතු වෙලා තමා අයියව මෙහෙට ගෙනාවෙ...."

බයික් එකෙන් වැටුනා මදිවට කලන්තෙත් දාලලු....හතර විලි ලැජ්ජාවයි...අරුන් ටික දන්නවනම් පෙරළි පෙරලි හිනාවෙයි....ඇතිවුණු ලැජ්ජාව මතක් වෙද්දි මහිත් කන්පෙති පවා රතු වේගෙන ආවා....

ඒ මදිවට අරහෙන් මෙහෙන් හීරුණු ඒවා දැවිල්ලත් අල්ලනවා.... කලිසමේ විතරක් නෙවේ දණිස්සෙත් පලුවක් නෑ....බයික් එකත් ගන්න දෙයක් නැතුව ඇති....

හැබැයි ඕනිම කළු වලාවක රිදී ඉරක් තියෙනවා කියන්නා වගේ බලු තඩියා පැන්න එකෙන් මහිත්ට සනුත්ගේ ගේ ඇතුලටම රිංගගන්න චාන්ස් එකක් ආවා....

"අයියගේ තුවාල ටික ක්ලීන් කරලා බෙහෙත් ටිකක් දාමු නේද...මම ෆස්ට් ඒඩ් බොක්ස් එක අරන් එන්නම්...."

"මාව ගෙනාව අය..."

"ආ....ඒ එක්කෙනෙක් පික් මී එකක් ආව ත්‍රීවීල් අයියා කෙනෙක්...එයා ඔයාව දාලා හයර් එක ගන්න පරක්කුයි කියලා ගියා....අනික් කෙනා නම් එහා පැත්තෙ ගෙදර අංකල් කියල කිව්වා...එයත් ගියා...."

"මල්ලිගෙ ගෙදරද මේ??? ගෙදර අය නැද්ද...."

සනුත් තුවාල පිරිසිදු කරලා බෙහෙත් දාන අතරේ වටපිටාව නිරීක්ශණය කරන ගමන් මහිත් ඇහුවා....

සවින්ද එව්ව විස්තරේ හැටියට කවුරුත් ඉන්න විදියකුත් නැති උනත්...

තනියම කොල්ලෙක් ඉන්න තැනකට වඩා පිලිවෙලක් දැක්ක නිසා මහිත්ට ඇති උනේ කුතුහලයක්.....

එලියෙ වැරන්ඩාවෙ හාන්සි පුටුවක ඉඳගෙන උන්නත් මහිත්ට දොරෙන් පොඩ්ඩක් ගේ ඇතුල පේනවා....හරිම පිළිවෙලයි....ඒකට මහිත්...වැඩට ඉන්න සෝමා නැත්තම් තමන්ගේ කාමරේ හැටි මැවුණු මහිත්ගේ කට ඇද වුණා...

"අයියට දැන් අවුලක් නැද්ද.... බොන්න මොනා හරි ගේන්නද....ෆේන්ට් උන නිසා මොනාද හොඳ??... කූල් ඩ්‍රින්ක් එකක්?"

ටිකක් ලොකුවට කියලා තිබුණ දණිස්සෙ තුවාලෙට බෙහෙත් දාලා ප්ලාස්ටර් එක්ක් ගහපු සනුත් එහෙම අහගෙනම නැගිට්ටේ මහිත්ගේ ප්‍රශ්නෙ නෑහුනු ගානට.....

"අහ්...කූල් එකක් හොඳයි මල්ලි..."

"ඉන්න මම විනාඩියෙන් ගේන්නම් අයියේ...."

තමන්ගේ ප්‍රශ්නේ සනුත් මග ඇරපු බව තේරුණු මහිත් ෆස්ට් ඒඩ් බොක්ස් එකත් අරන් ගෙට යන සනුත් දිහා බලන් හිටියේ හිතේ දෙගිඩියාවකින්....

.......................

රෑ කෑමෙන් පස්සෙ පොඩි කුස්සිය අස් පස් කරපු සනුත් පොත් ටිකත් අරන් පාඩම් මේසෙට ඉඳගත්තා....හිත එකතැනක තියන් පාඩම් කරන්න හැදුවත් හිතේ සැහැල්ලුව බව, නිස්කලංක බව නැතිවෙලා ගිහින් වගේ හැඟීමක් සනුත්ට දැණුනා...

හවස කඩේ ගිහින් ඇනෙක්ස් එක දිහාට එද්දි ගේට්ටුව ඉස්සරහා මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා හිටපු හැටිත්; කළු පාට නමක් නොදන්න බයික් එකක් පාර අයිනේ පෙරළිලා තිබුණු හැටිත්; ඒ මිනිස්සු මැද්දෙ බිම මහිත් වැටිලා හිටපු හැටිත් චිත්‍රපටියක් වගේ සනුත්ට මතක් වුණා....

"මේ පැත්තෙ ළමයෙක් නම් නෙවේ වගේ..."

"ඒක තමා ..මාත් දැකලා නම් නෑ... බල්ලා පනිනවා දකින්න නැතුව ඇති..."

"මොකද කරන්නෙ මිල්ටන් අයියා.....ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙයිද?...."

"ඇයි අංකල් ...මොකද්ද වෙලා තියෙන්නෙ.....???.... මේ ... මේ....අර ...."

"පුතා දන්නවද මේ ළමයා??..."

"ආ...ම්....මේ....ඔ...ඔ..ව් අංකල්.... මේ අපේ පන්තියට එන ළමයෙක්...මම දැකලා තියේ ක්ලාස් එකේදී.....

"ආ....ඒමද මල්ලි...බයවෙන්න තරම් දෙයක් නෑ වගේ මෑන්ස්ට.....පොඩ්ඩක් ශොක් එකට කලන්තයක් දාලා වගේ....."

"ලොකුවට තුවාල නම් නෑ වගේ නේද...."

"නෑ නේද....දණහිස ටිකක් තුවාල වෙලා...අනික් ඒවා නම් පොඩියට හීරිලා විතරයි..."

"ඔය ළමයා දන්න කෙනෙක් කිව්ව එකේ පොඩ්ඩක් බෙහෙත් ටිකක්වත් දාලා යවනවද...."

පිටස්තර අය එක්ක සහසම්බන්ධකම් තියාගෙන පුරුදු නැතිවුණත්; කෙනෙක්ට කරදරයක් වුණාම නිකන් බලාගෙන ඉඳලා පුරුද්දකුත් නැති සනුත් එතන හිටපු අයගේ උදව්වෙන් මහිත්ව ඇනෙක්සියේ වැරැන්ඩාවට ගෙනාවා...

සිහිය ආවට පස්සේ තුවාල වලට බෙහෙත් කරන අතරෙදි මහිත් සනුත් ගැන ප්‍රශ්න කීපයක් ඇහුවත්.....සනුත් ඒවට උත්තර නොදී මග ඇරියේ මහිත් කියන්නෙ තවම තමන්ගේ රාමුවට පිටින් ඉන්න කෙනෙක් නිසා....

ඇත්තටම සනුත් කියන්නේ තරමක සමාජශීලී බව අඩු කෙනෙක්....පොඩි කාලෙ ඉඳන්ම පවුල අතරට විතරක් හුරු උනු.... සමහරක් කාරණා නිසා...විශේශයෙන් සනුත්ගේ තාත්තගේ කාරණා වලදී මතු වුණු යම් යම් ගැටලු නිසා....සනුත් තමන් විසින්ම හදාගත්තු රාමුවකට මැදි උනා...

සනුත්ගේ මේ රාමුව ඇතුලේ හරියටම සනුත්ට පහසුවක් දනවන්න පුලුවන් උනේ සනුත්ගේ අම්මට විතරයි....ඊට අමතරව සනුත්ගේ පවුලේ අය රාමුව ඇතුලේ හිටියත් ඒ උන්නේ තරමක් දුරින්....

මෑතකදි මේ රාමුවට ගීතාන්වත් එකතු කරගන්න සනුත් උත්සාහ කළේ... මේ පරිසරේට හැඩගැහෙන්න අත්‍යාවශ්‍ය ම නිසයි....

අන්තිමට පාඩම් කිරිල්ල පැත්තකට දාපු සනුත් අම්මට කෝල් එකක් ගත්තේ හිතේ තියෙන නොසන්සුන් කම නැතිවෙලා යන්නත් එක්ක....මොකද සනුත් දන්නවා තමන්ගේ ඕනිම ප්‍රශ්නෙකට අම්මා ළඟ විසඳුමක් තියෙන බව....

"සුදු මැණික....."

"අම්මා.....නිදාගෙනද හිටියේ..."

"නින්ද ගිහින් උන්නේ.....කමක් නෑ කියන්නකෝ මැණික....මොකද කරන්නේ...පාඩම් කරනවද...."

"ඔව් අම්මා...රෑට කෑවා...දැන් පාඩම් කරන ගමන්.... සීතලයිද අද....."

සනුත්ගේ අම්මා නිරාශා මේ වෙනකොට හිටියේ රුමේනියාවේ සාත්තු සේවිකාවක් විදියට සේවය කරමින්...

අවුරුදු දහනවයක් තිස්සෙම සනුත්ගෙ පවුල උනේ අම්මයි....සීයාප්පච්චී, අත්තම්මා එක්ක මාමා..... සනුත්ට අවුරුදු දෙකක් වෙනකොට විවාහ ජීවිතේට තිත තියපු නිරාශා සනුත්ව අරගෙන මහ ගෙදර ආවෙ සැමියගෙන් දරන්න බැරි තරම් එල්ල වුණු තාඩන පීඩන නිසාමයි.....

එදා ඉඳන් අද වෙනකම් අවුරුදු ගානක් තිස්සෙ සනුත් වෙනුවෙන්ම කැපවෙන නිරාශාගේ මුලු ලෝකෙම උනේ සනුත්....

සනුත්ට උනත් චායාවක්වත් මතක නැති තාත්තාට වඩා....ඒ යුතුකම් හැම එකක්ම ඉශ්ට කරන්න දුක් විඳින අම්මාව මහමෙරක් වගේ වුණා....

අම්මාත් එක්ක කතා කලාට පස්සෙ හිතට තරමක් සැනසීමක් දැණුනු නිසා සනුත් ලයිට් නිවාගෙනම ඇඳට ගියේ මේ වෙනකොට මහ රෑ 12ත් පහුවෙලා නිසයි...

......................

මේ අතරෙදි නොහිතපු විදියේ අකරතැබ්බයකට මූණ දුන්න මහිත්ට සිද්ධ වෙලා තිබුණෙ මේකෙ අනිත් පැත්ත....හවස සනුත්ගේ ගෙදරින් තුවාල වලට බෙහෙත් කරගෙන Pick Me එකකින් ගෙදර ආපු මහිත්; ගෙදර වැඩට උන්නු බණ්ඩාරේට සනුත්ගේ ගෙදර ලිපිනය දුන්නේ ගිහින් බයික් එක ගැරේජ් එකට දාන්න කියලා අණ දෙමින්....

ඇදුම් දෙන දණහිසට උඩින් අතකුත් තියන් පඩිපෙළ නැගලා තමන්ගේ කාමරේට ආව මහිත් දූවිලි වැකුණු ඇඳුම් කුණු කූඩෙට විසි කරලා දැම්මා....අතේ තිබුණු ඔරලෝසුවේ බිඳුණු මූණත දිහා බලන් උන්නු මහිත් ඒකත් කුණු කූඩෙටම වීසි කරලා නාන කාමරේට වැදුණේ ආයෙමත් පාරක් නාගන්න...

නාගෙන ඇවිත් සැහැල්ලු ශෝටකට ආම් කට් එකක් ඇඳගත්තු මහිත් සෝමා නැන්දාට කියලා ගෙන්න ගත්ත බෙහෙත් ටියුබ් එකක් අරන් සීරුම් තුවාල වලත්....දණහිසෙත් ආලේප කලේ පාර හරහා පැනපු බල්ලට හිතින් සාප කරමින්....

Brrr... Brrr.....

ඇඳ උඩ නාද වුණු දුරකථනය අතට ගත්තු මහිත්ගේ මූණට ආවෙ කල්පනාකාරී පෙනුමක්.....

Mithuni Calling....

දුරකථනය අතට ගත්තු මහිත් ඇමතුමට සම්බන්ධ වෙමින් බැල්කනියට ඇවිදගෙන ගියා....

"කියන්න මිතුනි....."

"මොකද කරන්නේ බබී.... ආ යූ බිසී නව්...??"

"නෝ මිතුනි....අයි ජස්ට් ටුක් අ ශවර්..... උවමනාවක්ද මිතුනි....??"

"මොකද්ද මහී....ඔයයි මමයි මැරි කරන්න ඉන්නේ ..ඉතින් මට උවමනාවක් වෙන්නම ඕනිද ඔයාට කෝල් කරන්න??"

"ආහ්...හරි හරි සොරි..මට ඒක නිකම්ම කියවුනේ....කියන්නකෝ ඉතින් ..."

"මහී අපි ගොඩක් දවසකින් මීට් උනෙත් නෑනෙ....කොහෙ හරි යමුද අපි දෙන්නා විතරක්....?"

"අමුතුවෙන් යන්න තැනක් නෑනෙ මිතුනි....මම නැතත් ඔයා හැමදාම වගේ යාලුවෝ එක්ක එලියට යනවනේ..."

"අනේ මහී....මොකද්ද ඔයාට වෙලා තියෙන්නෙ...මීට් වෙමු කිව්වම ඒත් බෑ....පොඩ්ඩක් ඩේට් එකක් ගිහින් එන්ජෝයි කරලා එමු කිව්වාමත් ඒත් බෑ....ඇත්තටම අපි දෙන්නා මැරි කරන්නද ඉන්නේ මහී...."

"ඕකේ ෆයින්....නව් ස්ටොප් ප්ලීස් මිතුනි....ලෙට්ස් ගෝ ෆෝ අ ඩේට්....හැබැයි මේ සතියේ බෑ...මම ටිකක් බිසී...."

"ඕකේ දෙන්...නෙක්ස්ට් වීකෙන්ඩ් එකේ යමු හොඳද...."

"ම්ම්ම්...."

"ආ ... මේ තාත්තිත් ඇහුවා ඔයා මොකද එන්නෙවත් නැත්තේ කියලා...."

"එක්සෑම් නේ මිතුනි....දන්නවනේ මේ පාරත් ඇණුනොත් ඩැඩී මගෙ ඔලුව කයි....ඔයා අංකල්ට කියන්න..."

"ඕකේ මම කියන්නම්....බායි මහී"

ටීක්....ටීක්....ටීක්....

සුසුමක් හෙලපු මහිත් දුරකතන ඇමතුම විසන්ධි කරලා ඇඳ මතින් හාන්සි වෙලා කල්පනා කලේ තමන්ගෙත් මිතුනිගෙත් අතර තියෙන මේ බැඳීම් ගැන.....

මහිත්ගේ ඩැඩීත් මිතුනිගේ තාත්තත් ව්‍යාපාරික මිතුරන්...ඉතින් මේ මිතුරුකම නෑදෑ කමකට පෙරලගන්න උවමනා වුණ මිතුනිගේ තාත්තා මිතුනි සාමාන්‍ය පෙළ ඉවර කරපු ගමන්ම රේමන්ඩ් පවුලට විවාහ යෝජනාවක් ඉදිරිපත් කලා.....

තමන්ගෙන් පසුව ව්‍යාපාර භාරගන්න ඉන්න මහිත්ට මේ විවාහය අනාගතේදී හොඳ පිටුවහලක් වන බව විශ්වාස කරපු පර්සි රේමන්ඩ් මේ යෝජනාවට දෙපාරක් නොහිතා තමන්ගේ කැමැත්ත දුන්නා....

කොහොමටත් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරපු මහිත්; විවාහ යෝජනාවක් ආවා කියලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගත්තෙ නම් නෑ .....

නමුත් ස්වභාවයෙන්ම අනික් අය ගැන නොසලකා හරින, ආඩම්බර මෙන්ම දරදඬු ගතිගුණ තිබුණ මහිත්ට තමන්ගේ ඒ ගතිගුණ මිතුනි වෙනුවෙන් තරමක් ලිහිල් කරන්න සිද්ධ වුණා...ඒකට හේතුව මිතුනිගේ අම්මාගේ ආදරණීය ඉල්ලීම....

විවාහ යෝජනාව මිතුනිටත් මහිත්ටත් දැනුම් දුන්න මොහොතෙදී මහිත්ගේ අත් දෙක අල්ලගත්ත මිතුනිගේ අම්මා ඉල්ලුවේ මිතුනිව හැමදාම සතුටින් තියන්න... අම්මා කෙනෙක්ගේ ආදරේ අඩුව හොඳින්ම දන්න මහිත්ට මිතුනිගේ අම්මාගේ ඉල්ලීමට පිටුපාන්න බැරි උනා....

ළය පිලිකාවකින් අම්මා නැති වෙනකොට මහිත්ට වයස අවුරුදු දාහතරයි....මුදල්,යාන වාහන , සැප සම්පත් මොන තරම් තිබුණත් මරණයට ඒ කිසිම දෙයක් අදාළ නෑ කියන දේ පසක් කරමින් අම්මා නැති උනාම මහිත්ගේ මුලු ලෝකෙම කඩාගෙන වැටුණා....

අම්මගේ මරණයෙන් පස්සෙ මහිත්ගේ මූණට හිනාවක් ආවෙම නැති තරම්....හැඟීම් දැනීම් මැරුණ තරුණයෙක් විදියට වයසින් වැඩුණු මහිත් තරමක් හරි තමන්ගේ හදවත විවෘත කලානම් ඒ නිකිත්ට විතරමයි.....

සෑහෙන තරම් දුර ගියපු අතීතාවර්ජනයක් එක්ක මහිත් එහෙමම නින්දට වැටුණා....

......................

.....මතුවට හමුවෙන තුරු........