Day 02
ටොක්....ටොක්.....
ටොක්....ටොක්....
හරියටම දෙපාරක්... යාලුවෝ හතර දෙනාටම වෙන්වුණු තට්ටු කිරීමේ රහස් කේතය..... අලුත් දවසකට පායපු ඉර එළියට තාම මහිත්ගේ කාමරේට නම් රිංගගන්න බැරි වෙලා වගේ....
නිදිමත බේරෙන ඇස් පොඩි කර කර ගිහින් දොර ඇරපු මහිත් ආයෙම ඇඳට කඩා වැටුණා.... කාමරේට ආව නිකිත් මුලින්ම කලේ ජනෙල් වහගෙන තිබුණු විශාල තිර රෙදි දෙපැත්තට ඇදලා දාපු එක..... එක පාරටම මූණට වැටුණු ඉර එලිය නිසා ඇස් හීනි කරපු මහිත් අනික් පැත්ත හැරිලා කොට්ටෙන් මූණ වහගත්තේ නිකිත්ට බැනවදිමින්.....
"මට මෙතන උදේ අට වෙද්දි ඉන්න කියලා උඹ මහ පගයා වගේ නිදි....ඈ පගෝ දැන් වෙලාව කීයද දන්නවද????"
මුණින් අතට නිදාගෙන කොට්ටෙකින් මූණත් වහගෙන නිදාගෙන උන්නු මහිත්ගේ පශ්චාත් බාගෙට පයින් පාරක් එල්ල කරමින් නිකිත් කෑගැහුවා.....
"තව විනාඩි 10ක් දීපන්කෝ උට්ටෝ.....කෑ නොගහා හොඳ එකා වගේ ඔතනින් වාඩි වෙලා ඉඳපන්...."
ඇස් දෙක නොඇරම නිකිත්ට උත්තර දුන්න මහිත් ආයෙ බෙඩ්ශීට් එක ඇදලා අරන් ඒකට ගුලි වුණා.....
"හා හා නිදාගනින්කෝ එහෙනම්....අපරාදෙ කලින් ගියානම් අරූව පොඩ්ඩක් ටෝක් කරන්නවත් තිබ්බා...."
මෙච්චර වෙලා ගුලිවෙවී නිදාගෙන හිටපු මහිත් ඉද්ද ගැහුවා වගේ ඇඳේ ඉඳගෙන ඇස් පොඩි කරන්න ගත්තා.... අපරාදෙ කියන්න බෑ මේ ඔට්ටුවක් දිනන්න තියෙන උනන්දුව මුන්ට ඉගෙන ගන්නත් තිබුණනම්....මෙලහට මහිත් අභිමාන්‍ය රේමන්ඩ්ගේ නමත් රොකට් එකක් හඳට යැව්වා කියලා ලියවෙන්න උනත් තිබුණා....
"හරි හරි....උඹලගෙනුත් මාර වදයක් තමා තියෙන්නේ....නිදාගන්නවත් නෑනෙ....ඔච්චර කියන එකේ යමන්කෝ...."
"නෑ නෑ....උඹ නිදාගනින්...කිසි අවුලක් නෑ.... උඹට ඇහැරුණ වෙලාවක යමං....."
එක පාර නැගිට්ට ලැජ්ජාව වහගන්න හරිම ලස්සනට බෝලෙ නිකිත්ට පාස් කරපු මහිත් කොණ්ඩෙත් අතින් හද හදා බාතෲම් එකට ගියේ නිකිත්ගේ සමච්චල් හිනාවට මැද ඇඟිල්ල දිගු කරමින්.....
......................
එලාර්ම් එක වදින සද්දෙට ඇහැරුණ සනුත් ඇස් දෙක ඇරගත්තේ තරමක් අමාරුවෙන්..... ඊයෙ වැස්සට තෙමුන නිසා රෑ ඉඳන් තිබුණු හිසරදය; පැනඩෝල් පෙති දෙකට අඩු වෙලා නෑ කියල තේරුණ සනුත්....අපහසුවෙන් උනත් නැගිටලා කුස්සියට ගියේ වතුර එකක් ගන්න හිතාගෙන.....
තේ ටිකක් හදාගෙන බොන්න උත්සහා කලත් කටට දැණුනු අප්‍රසන්න ගතිය නිසාම ඒකත් පැත්තකට දාපු සනුත් හිස් බඩටම තවත් පැනඩෝල් පෙති දෙකක් බිව්වේ අද තියෙන නිබන්ධන පන්තියේදි (Theory Class) ජාලකරණ (Networking) පාඩම උගන්වන නිසාම පන්තියට යාම අත්‍යාවශ්‍ය නිසයි.....
ගීතාන් අම්මලත් එක්ක කලින් යොදාගෙන තිබුණු ගමනක් ගියපු නිසා අද සනුත් තනියම....පන්තිය පටන් ගන්න තව වෙලා තිබුණු නිසා ඩෙස්ක් එකට ඔලුව ගහගෙන හිටපු සනුත් අපහසුවෙන් ඔලුව උස්සල බැලුවේ තමන් ළඟින් කවුරු හරි වාඩිවෙනවා දැණුන නිසා...
"සනුත් ආ යු ඕකේ.....?.."
ඔට්ටුව දිනන්න තිබුණු තදබල අවශ්‍යතාවය නිසාම 13 වසරේ තියරි පන්තියට නිකිත්වත් ඇදගෙන ආව මහිත් බලන් හිටියේ සනුත් පන්තියට එනකම්..... ඊළඟට අපහසුවෙන් වැනී වැනී වගේ පන්තියට ආව සනුත් බංකුවක වාඩිවෙලා ඩෙස්ක් එකේ ඔලුව තියාගන්න හැටි දැක්ක මහිත් නැගිටලා එතනට ගියේ සනුත්ට කතාකරන්න....
"ආහ්.... මේ....ඔයා....මේ .... මේ ...මේ ක්ලාස් එකේ???...."
තමන් ළඟ වාඩි වුණු කෙනා කවුද බලන්න ඔලුව උස්සපු සනුත්ට පුදුම හිතුනා....මහිත් මේ පන්තියේ ඉන්නවා මීට කලින් දැකලා තියේද කියලා සනුත් කල්පනා කලා....
"මම දන්නෑනේ සනුත් අපේ රවිඳු සර්ගේ ක්ලාස් එනවා කියලා...."
"මම අයියව පේපර් ක්ලාස් එකේදි නම් දැක්කා...මේකට එනවා කියල නම් දන්නෑ...."
"ආ....ආ...ඒ....මේ...මේ අද පාඩම අපිට අවුල් ගිය එකක්නේ....ඒකයි තියරි ක්ලාස් එකට ආවේ මල්ලි...
ආ මේ ඉන්නෙ මගේ යාලුවා නිකිත්....මචං නිකියා...මේ ඉන්නේ සනුත් මල්ලි....අර බල්ලා පැනපු දවසේ මට උදව් කලේ....."
සනුත් තමන්ව මුලින්ම දැක්කේ බයික් එකට බල්ලා පැනපු දවස කියලා හිතන් ඉඳපු මහිත් එක පාරට සනුත් කියපු දෙයින් කලබල වුණා..... ඒත් එක්කම එතැනට ආව නිකිත්ව හඳුන්වල දෙන ගමන් කතාව වෙන පැත්තකට හරවන්න මහිත්ට පුලුවන් වුණා...
"කොහොමද මල්ලි... මම නිකිත්..... මමයි මූයි මැත්ස් කරන්නේ...මේ සෙකන්ඩ් ශයි එක....."
"ම්ම්ම්ම්....."
නිකිත් තමන්ව අඳුන්වලා දුන්නම ඒකට ප්‍රති උත්තරේ විදියට මලානික හිනාවක් දීපු සනුත් ආයෙම ඔලුව ඩෙස්ක් එක උඩින් තියාගත්තා.....
"සනුත් ඔයා හොඳින්ද.... හොඳටම දාඩියත් දාලා....."
සනුත් දිහා බලපු නිකිත් එහෙම කියද්දි; මහිත් තවත් ටිකක් සනුත්ට ළං වෙලා නළලට අත තිබ්බා.....
"ඒ බං මූට හොඳටම උණ නේ.... ගින්දර වගේ රස්නෙයි...
උඹට පිස්සුද සනුත් මෙච්චර උණ තියාගෙන ක්ලාස් එන්න....???"
"එච්චර අවුලක් නෑ අයියේ....මේක තව ටිකකින් අඩුවෙලා යයි....."
"මොන අඩුද බං.... බලපන් මහියා මේ මල්ලිගේ ඇස් දෙකත් එක්ක රතු වෙලා.....මචං මං කියන්නද .... උඹ මේ කොල්ලව එක්කන් ගිහින් බෙහෙත් ටිකක් අරන් දීලා ගෙදර දාලා වරෙන්....."
"ඕන නෑ අයියලා කරදර වෙන්නෙපා....මේක නිකම්ම අඩුවෙලා යයි...බෙහෙත් ගන්න ඕනි නෑ....."
බෙහෙත් ගන්න යන්න නිකිත් කල යෝජනාව අහපු සනුත් වෙව්ලන කටහඬකින් ඒක ප්‍රතික්ශේප කරන්න උත්සාහ කළා.....
"ඔය ... ඔය බලපන් නිකියා....මුගේ ලේසි ලොකු කමක් නෙවේ තියෙන්නේ.....කතා කරගන්නවත් බෑ වෙව්ලනවා....ඒ උනාට ඕඥ්ඥෑ....කමඥ්ඥෑ....කරජර වෙඥ්ඥෙපා....යැයි යැයි තමයි..."
ඉබ්බා දියේ දාද්දි ඇන්නෑවේ කිව්වලු.....දෙන දෙයියෝ ටොකු ඇණ ඇණ සනුත්ට ළං වෙන්න අවස්තා දෙනවනේ කියල හිත හිතා උන්නු මහිත්; සනුත්ගේ වචන ටිකත් එක්ක පරළ වෙන්න ගත්තා...
"හරි මල්ලි....උඹට මහියත් එක්ක යන්න බෑ නම් උඹේ ගෙදර මිනිස්සුන්ට කෝල් එකක් දියන් එක්කන් යන්න කියලා...."
"මම තනියම ඉන්නේ අයියේ ...."
"මේ දවස්වල එක එක වෛරස් තියෙනවා මල්ලි....ඊටත් වඩා මේ ලයින් එකේ ඩෙංගු ලෙසටම තියෙනවා....ඉතින් උණක් හැදුණම නිකන් ඉඳලනම් හරියන්නෑ කොල්ලෝ...."
"අනේ මූට කිව්වට වැඩක් නෑ නිකියා..."
කොයිතරම් බෑ කිව්වත් ඇත්තටම තමන්ටත් අමාරුයි කියලා දන්න නිසා අන්තිමේදි නිකිත්ගේ ඉල්ලීමට සනුත් කැමති වුණා..... ඌබර් කැබ් එකක් දාගත්ත මහිත් සනුත්වත් එක්කගෙන ආවේ පෞද්ගලික රෝහලකට.....
මහිත් කැබ් එකට මුදල් ගෙවනකම් අපහසුවෙන් හිටන් උන්නු සනුත් රෝහල ඇතුලට යන්න අඩියක් ඉස්සරහට තිබ්බා.....
"ලොකුකම නම් තියෙනවා ...තනියෙන් යන්නවත් පණක් නෑ...."
එක පාරටම ඉණ වටේට අතදාලා සනුත්ව තමන්‍ට වාරු කරගත්තු මහිත් එහෙම කියන ගමන් හෙමින් ඉස්සරහට ඇවිදන් ගියා.....
මේ වෙනකොට සනුත් නම් හිටියේ ඊට වඩා හාත්පසින්ම වෙනත් තත්වෙකට මූණ දීලා..... ජීවිතේ පළවෙනි වතාවට පිටස්තර පුද්ගලයෙක් තමන්ට මේ තරම් සමීප වෙලා....
ඉණෙන් අල්ලන්න තරම්ම සමීප වෙලා..... ඊටත් වඩා ඒ ස්පර්ශය නිසා ඇඟ පුරාම නානාප්‍රකාර විලම්භීත දේවල් වෙලා.... යටි පතුල් වල ඉඳන් උඩට එනකම් හීනියට හිරිවැටිලා..... කන් පෙති වල ඉඳන් කම්මුල් වෙනකම් රත් වෙලා.... නෑ නෑ....ඒ උණ නිසා.... සනුත් තමන්ටම කියාගත්තා....
"සනුත් මොකද මේ....ඔය ඇස් දෙකත් ලොකු කරන්.... මොකද මේ රතු වෙලා ... අමාරුද....."
"........"
......................
"කැස්ස ගතියක් තියෙනවද....උගුර එහෙම රිදෙනවද?..."
"නෑ ඩොක්ටර්...."
"ඊයෙ මෙයා මහ වැස්සකට තෙමුණා ඩොක්ටර්...."
"ඔව් සමහර විට ඒක වෙන්නත් පුලුවන් ....කෝකටත් මම මේ දෙන බෙහෙත් ටික නිවැරදිව වෙලාවට බොන්න....දවස් තුනකින් අඩු නැත්තම් අපි ලේ එකක් චෙක් කරලා බලමු...."
වෛදයවරයාගේ කාමරයෙන් එලියට ආව සනුත්ව පුටුවකින් වාඩිකරපු මහිත් එතනම තිබුණු බෙහෙත් නිකුත් කරන තැනට ගියේ සනුත්ගේ අදාල බෙහෙත් ටික ගන්න.....
බෙහෙත් අරගෙන ආයෙම ඌබර් එකකින් සනුත්ව ඇනෙක්සියට එක්කගෙන යන ගමන් උන්න මහිත්;සීට් එකට හේත්තු වෙලා නින්දකට වැටිලා උන්නු සනුත්ව නිරීක්ෂණය කරන්න ගත්තා.....
සනුත් කියන්නේ ඇත්තටම හරි ලස්සන ළමයෙක්.... කොල්ලෙක් උනාම කඩවසම් වෙන්නයි ඕනි කිව්වට සනුත්ට තියෙන්නේ....කඩවසම් වගේම ලස්සන පෙනුමක්....සනුත්ටම ආවේණික ලස්සනයි කියලා කියන්නම වටින දේවල් කීපයක් තිබුනා....
ගාණකට වැවුණු ඇහිබැමි.....ගෑණු ළමයෙක්ටවත් නැති තරම් දිගටි ඇහි පිහාටු... පියවිලා තිබුණු ඒ දිගැටි සිහින් ඇස් දෙකට ගානටම ගැලපෙන විදියට ගාණට මිම්මට වක් වුණු ඒ ඇහි පිහාටු ඇත්ත ඒවද නැද්ද කියලා බලන්න නම් ඇදලාම බලන්න වෙනවා.....
එතනින් පහළට ආවාම තියුණු හකුපාඩා (Sharp Jawlines) හැදිලා තිබුණේ ඉංග්‍රීසි හෝඩියේ V අකුරේ හැඩේට.....පොඩ්ඩ ඇත්නම් රතු වෙන කන් පෙති...ඊළඟට හරිම ලස්සන දිග බෙල්ල වගේම නෙරා ආව උගුරු ගැටය...ඒ විතරක්ද.....එතනින් පහල තියෙන කොලර්බෝන්ස්.....
ජිම් එකකට ගිහින් ඇඟ හදා නොගත්තට ලාවට මතු වෙලා තිබුණ උදර මාංශ පේශි( Abs), බයිසප් මාංශපේශී (Biceps) විශ්වාස කරන්න ....මේ හැමදේම එක්ක සනුත් කියන්නේ.....දෙවියෝ නිවි සැනසිල්ලේ මවපු රූපයක්....
සීට් එකට ඔලුව හේත්තු කරන් නින්ද ගිහින් හිටපු සනුත්ගේ නළල මැද්දෙන් කෙස් රොදක් වැටිලා තියෙනවා දැක්ක මහිත් ඒක අයින් කරන්න අත දිගු කරද්දිම කැබ් එක ඇනෙක්සිය ඉස්සරහ නතර වුණා....
"සනුත්....වේක් අප් .....We Are Home..."
"අහ්...ම්ම්ම්..."
ඇස් දෙකේ බර ගතියත් එක්ක අපහසුවෙන් ඇස් පියන් විවර කරපු සනුත් කැබ් එකෙන් බැහැලා ගේට්ටුව ගාව නතර වුණා....
"අයියේ ගොඩක් ස්‍තූතියි මේ කරපු උදව්වට....මම බෙහෙත් ටික බීලා නිදාගන්නම්...."
"මුලින් යමුකෝ ගෙට.... කෝ යතුර කොහෙද?"
කැබ් එකට සල්ලි ගෙවලා ඒක පිටත් කරපු මහිත් සිලි කවර කීපයක් අතින් එල්ලගෙන තමන්වත් පහුකරන් ගේට්ටුවෙන් ඇතුලට යන දිහා සනුත් බලාගෙන හිටියේ ව්‍යාකූල විදියට....
"දවසම ඔතන ඉන්නද කල්පනාව....මේ දොර අරින්නැද්ද අද?..."
"ඒත් අයියේ...."
"ඔව් ඒත්.....???"
"නෑ මොකුත් නෑ....අයියේ...ඉන්න මම දොර අරින්නම්"
ඇනෙක්සියේ දොර ඇරගෙන ඇතුලට ගිය සනුත් ; මහිත්ට ඇතුලට ආරාධනා කළා..... පොඩි විසිත්ත කාමරයක්.....කුස්සියක්, නිදන කාමරයක් සහ නාන කාමරේකින් සමන්විත මේ ඇනෙක්සිය ඇත්තටම හුරුබුහුටියි....ඒ වගේම සනුත් කොයි තරම් පිළිවෙලට පිරිසිදුවට මේක තියාගෙන ඉන්නවද කියලා පළවෙනි පාර දකින කෙනෙක්‍ටම තේරෙනවා....
"සනුත් වොශ් එකක් දාගෙන චේන්ජ් කරගන්න....මම කෑම ඕඩර් කලා....තව ටිකකින් එයි...උණුවෙන් කාලා බෙහෙත් ටික බොමු....."
"ඒත් අයියේ....අයියට කර...."
"ප්ලීස් සනුත්....Don't Repeat the Same thing over & over again....
මට කරදරයක් නෙවේ.... දැන් ගිහින් වොශ් එකක් දාන් චේන්ජ් කරගන්න...."
මේතරම් තමන් වෙනුවෙන් උදව් කරන, කාලය, මුදල් කැප කරන මහිත්ට තමන් ණයගැති බවක් සනුත්ට දැනුනා.... සමහරවිට මහිත් හොඳ යාලුවෙක් වෙන්න පුලුවන්.... ගමේ ඉද්දි වගේ නෙවේ....මේ ගෙන්දගම් පොළොවේ ඉන්නකොට හැමතිස්සෙම තනියම ජීවත් වෙන්න අමාරුයි කියන එක අද සනුත්ට තේරුණා..... ඉතින් මහිත්ට තමන්ගේ රාමුවට ඇතුල් වෙන්න අවස්තාවක් දෙන්න තීරණය කරපු සනුත් නාන කාමරේට වැදුණා.
......................
නාන කාමරේ ඉඳන් ආව සනුත්ට විසිත්ත කාමරේ පැත්තෙන් හොඳ සුවඳක් ආවා....උදේ ඉඳන්ම වතුර උගුරකට එහා දෙයක් නැතුව හිටපු සනුත්ට එක පාරටම බඩගින්නක් දැණුනා .... පෞද්ගලික රෝහලේදී වෛද්‍යවරයා උණ අඩුවෙන්න එතනදිම බොන්න දුන්නු බෙහෙත් පෙත්තට පිං සිද්ධ වෙන්න සනුත්ට දැන් ටිකක් ඇඟට පණක් ඇවිත් තිබුණා.....
සැහැල්ලු ශෝටකට ටී-ෂර්ට් එකක් ඇඳගත්ත සනුත් ගෝයා ජැස්මින් පර්ෆියුම් එකෙන් ටිකක් ගාගෙන කොණ්ඩෙත් අතින් අවුස්ස අවුස්සා විසිත්ත කාමරේට ගියා....
"සනුත්ට කන්න පුලුවන් මොනාද කියලා අහගන්න බැරි වුණානෙ....ඒ හින්දා මම මෙනු එකක් සිලෙක්ට් කලා....එන්න උණුවෙන්ම කමු...."
සරුවට තිබුණු ෆ්‍රයිඩ් රයිස් එකකට චිකන් ඩෙවල්, චිලි පේස්ට්, සලාදයක් වගේම අතුරුපසට වටලප්පං හෙමත් තිබුණා.....
ගෙනාපු කෑම කාලා අතුරුපසත් කාපු සනුත් බෙහෙත් ටික බොනකම් මහිත් කළේ....කාපු බීපු තැන අස් පස් කරන එක....
විසිත්ත කාමරේ කෙළවරක තිබුණු මේසෙ උඩ ගිටාර් එකක් දැකපු මහිත් ඒක අතට අරං ඇවිත් සනුත්ට එහාපැත්තේ තිබුණු සෝෆා පුටුවේ වාඩිවුණා....
තත් දෙක තුනක් ටියුන් කරපු මහිත් ඊළඟට උගුර පාදලා හරිම පැහදිලි කටහඬකින් සිංදුවක් කියන්න පටන් ගත්තේ ගිටාර් එක වාදනය කරන ගමන්මයි...
රෑ අහසින් වැටෙනා
බිංදු බිංදු පිනි බිංදු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතලයි
සීතලයි පින්න
දැහැනකට සම වැදුණා වගේ ගිටාරයේ තත් උඩ හරිම ලස්සනට රටා මවන මහිත්; ඉහළ පහළ යන ස්වර අතර දෝලනය වෙමින් සිංදුවට පණ පොවන්න ගත්තා....
තමන්ගේ ප්‍රියතම සිංදුවක් මේ විදියට අකෝස්ටික් සංගීතයක් එක්ක.....ඒකත් හරිම ගැඹුරු ....බඩ බොකු කැලතෙන හැඟීම්බර කටහඬකින් ඇහෙද්දි සනුත් භාවනාවකට දැහැන් ගත උණා වගේ බලන් හිටියේ ඇස් දෙකත් පියාගෙන සිංදුව කියන ගමන් විඳින මහිත් දිහා.....
සිපගන්න බයෙන් මහ පොළොව
පිනි බිංදු හඬනවා
නිම් නාද දී
දෙතොලතර ඉඩ දෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
පොඩි විසිත්ත කාමරයම ගිටාරයෙන් නැගුණු තත් වලට මුසු වුණු මහිත්ගේ හැඟීම්බර කටහඬෙන් පිරිලා ගියා.....මහිත්ගේ මූණේ තියෙන හැඟීම් බලන්න තරම් ලස්සනයි..... පියවගෙනම උන්නු ඇස් දෙක එක වතාවක් හීනි වෙමින්....තව වතාවක නළල රැලි කරමින්.....
අනෝරා පිනි යටින්
තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය
පිනි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩදෙන්න
නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
සංගීතය කියන්නම මායාවක්.... මේ මායාවත් එක්ක හැඟීම් පිරුණු කටහඬක් එකතු වෙලා වචන වලට පණ පොවද්දි.... ඕනිම ගල් හිතක් වුණත් දිය වෙලා වැක්කෙරෙන්න පුලුවන්..... හරියට මේ දැන් සනුත්ටත් නොදැනී සනුත්ගේ ඇස් දෙකෙන් කඳුලු බිංදුවක් වැටෙනවා වගේ.....
මේ තරම් වෙලා ඇස් දෙක පියාගෙනම උන්නු මහිත් හෙමින් ඇස් දෙක අරිද්දි දැක්කේ...තමන් දිහාට මූණ දාලා ඉඳගෙන උන්නු සනුත්ගේ ඇස් දෙක අග්ගිස්සේ දිලිසෙන කඳුලු බිංදු; මහිත් ඇඟිලි තුඩකට කඳුලු බිංදුවක් ගත්තා.....
මහිත්ගේ ස්පර්ශයෙන් මේතරම් වෙලා සමවැදිලා හිටිය දැහැණින් මිදුණු සනුත් කලබලයෙන් ඇස් දෙක පිහාගත්තා.....
"Are You Okay Sanuth?..."
"ඒක හරිම ලස්සනයි ..."
"අහ්...ම්ම්ම්ම්.....තෑන්ක්‍යූ ෆෝ ද කම්ප්ලිමෙන්ට් ..."
ඇහෙන නෑහෙන ගාණට මුමුණපු සනුත්ගේ අගය කිරීමට මහිත් උත්තර දුන්නේ මූණ බිමට හරවගෙන ඔලුවත් කස කසා.....
මුලු ලෝකෙටම පේන්න තද, රළු, ආඩම්බරකාර, මහා දරාගැනීමක් තියෙනවා වගේ පෞර්ශයක් මවාපාන මිනිස්සු ඉන්නවා නේද.....අන්න ඒ මිනිස්සුන්ගේ ඇතුලාන්තේ හැංගුණු මෘදු පොඩි ළමයෙක් වගේ කෙනෙක් අනිවාරෙයෙන් ම ඉන්නවා....
හොඳ රසවත් සිංදුවක්, හවසක ඉර බහින දර්ශනයක්, වැස්ස වෙලාවට උණු කෝපි කෝප්පයක්... එහෙමත් නැත්තම් තමන්ට විවෘත වෙන්න පුලුවන් හොඳ හදවතක් ළඟදි අර තදකාරයා යට කරගෙන මේ මෘදු පොඩි එකා ඉස්මතු වෙනවා.....
හරියට මේ දැන් මහිත්ට වුණා වගේ.... කොයිතරම් දක්ශතාවය තිබුණත් මහිත් තමන්ගේ යාලුවෝ ඉදිරිපිටදි හැර වෙන කාගෙවත් ළඟ සිංදු කියලම නැති තරම්... ගිටාර් එක දැක්ක ගමන් සිංදුවක් කියන්න ඕනි කියලා එක පාරටම ආව අදහස නිසාම මිසක් සනුත්ව දැලේ දාගන්න සිංදු කියල පෙන්නන්න ප්ලෑන් එකක් නම් මහිත්ට තිබුනේ නෑ..... ඉතින් අපේ මේ ආඩම්බරකාරයට මේ තරම්ම ලැජ්ජා හිතුනේ ඒ නිසයි.....
විනාඩි කීපෙක නිහඬතාවයක්... කතාකරන්න සෑහෙන දේවල් තිබ්බත් වචන ගොලුවෙලා වගේ....
Brr....Brrr.....
ස්ටූල් එක උඩ තිබුණු සනුත්ගේ ෆෝන් එක වයිබ්‍රේට් වුණේ තිරයේ
Incoming Video Call
Ammi 🌎 💙
කියලා සඳහන් වෙමින්.....
"සුදු මහත්තයා....මොකද කරන්නේ....?"
"ම්ම්....මුකුත් නෑ අම්මා....දැන් ටිකකට කලින් ගෙදර ආවේ...."
"අද ක්ලාස් නැද්ද පුතේ...."
"ක්ලාස් ගියා අම්මේ...ආයි එන්න වුණා...."
උදේ පන්තියට ගියපු තැන ඉඳන් මේ වෙනකම් සිද්ධ වුණු සියලුම දේවල් අම්මත් එක්ක කියපු සනුත් ඊළඟට අම්මට මහිත්ව අඳුන්වලා දුන්නා.....
"අම්මේ...මේ මහිත් අයියා.....; අයියේ මේ මගේ අම්මා....."
"හෙලෝ ආන්ටි....මම මහිත්....මහිත් අභිමාන්‍ය ...."
"කොහොමද පුතා.... "
"Am Doing Good Aunty ...."
"පුතාට ගොඩක් ස්තූතියි සනුත්ට මේ කරපු උදව් වලට....මට වචන නෑ පුතේ ස්තූති කරන්න....."
"It's Okay Aunty .... ඒක සුළු දෙයක්නේ...."
"නෑ දරුවෝ... අපේ පුතාට යාලුවෝ එහෙමකට නෑ...අනික ඔය පරිසරේට අලුත්නේ තාම..... මම මෙහේ උන්නට හරි හිතේ බයෙන් ඉන්නේ....."
"මමත් මල්ලිව දැනගෙන ලොකු කාලයක් නෑ ආන්ටි.... ඕනිනම් දවස් දෙකක් තුනක් ඇති නේද සනුත්....."
සනුත්ගේ අම්මත් එක්ක ටිකක් වෙලා කතාකරලා නැවත සනුත්ට දුරකතනය දුන්න මහිත්ට හිතුනේ.....සනුත්ගේ අම්මා නම් තරමක් සනුත් තරම්ම ලොකුකමක් නැති මිත්‍රශීලී කෙනෙක් කියල.....
......................
"නිකියා...මම එවන ලොකේශන් එකට වරෙන් මාව ගන්න....."
හවස් වෙනකම්ම සනුත්ගෙ ගෙදරට වෙලා ඉඳපු මහිත් නිකිත්ට ඇමතුමක් දුන්නේ ගෙදර යන්න හිතාගෙන....
"අද කරපු උදව් වලට ගොඩක් ස්තූතියි අයියේ....."
"ම්ම්ම්....තැන්ක්‍යූ ඕනි නෑ සනුත්.... මාත් එක්ක කතාබහ කරලා ඉන්න , ආශ්‍රය කරන්න බයවෙන්නෙපා....මම මරාගෙන කන්නෑනේ....අනික ටිකක් සෝශල් වෙන්න සනුත්....නැත්තම් නම් මේවගේ ජීවත් වෙන්න අමාරුයි....දැන් දැක්කනේ අද මම බලෙන් හරි ඔයා එක්ක කතා බහ නොකලා නම් තවම තමුසේ උණ තියාගෙන වෙව්ල වෙව්ල ඉඳී...."
"ඇත්තටම සොරි අයියේ..... ඔයාට අවුලක් උනානම් මම හැසිරුණ විදියෙන්..... මාත් දන්නවා මම මීට වඩා සමාජෙට යන්නෝනි කියලා...ඒත් එක පාරටම මට අමාරුයි....මම ට්‍රයි කරනවා....."
සනුත් හදවතින්ම එහෙම කිව්වෙ පහුගිය ටිකේ තමන්ගේ රළු හැසිරීම් නිසා මහිත්ගේ හිත රිදුන නම් ඒ ගැන කම්පා වෙමින්..... ඒ වගේම මහිත්ට යාලුවෙක් විදියට තමන්ගේ ජීවිතේට එන්න අවස්තාවක් දෙන්නත් සනුත් හිතාගත්තා.....
......................
"ඌ අමුතුම ටයිප් එකේ කොල්ලෙක් නිකියා.... අයි මීන් ඌ හෙන බයයි සෝශල් වෙන්න....උන්ගේ අම්මා කිව්ව විදියට නම් ඌට යාලුවෙක්වත් ඉඳලා නෑ....."
"ම්ම්ම්ම්....."
නිකිත් එක්ක කාර් එකේ යන ගමන් උන්නු මහිත් අද දවසේ වුණු දේවල් ටික විශ්ලේෂණය කරන ගමන්..... තාම දවස් දෙකයි..... මේ යන විදියට නම් ඔට්ටුව දිනන්න සතියක් ඉන්න වෙන එකකුත් නෑ.... හිතින් තමන්ටම කියාගන්න ගමන් මහිත් බැලුවේ නිහඬවම රිය පදවන නිකිත් දිහා....
"උඹ මොකද සයිලන්ට්...?"
"......"
"කියපං පගෝ.... මට හිත් කියවන්න තාම බෑ... හා හා...."
තමන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් නොදී මූණ දිහා බලන් උන්නු නිකිත්ගෙන් මහිත් ඇහුවේ හිනා වෙවී..... පෙරළා හිනාවක් නොදුන්නු නිකිත් බරපතළ බැල්මක් එක්ක මහිත් දිහා බැලුවා....
"උඹට හිතෙන්නැද්ද ඌ අහිංසකයෙක් කියලා.... උඹ තාම පරක්කු නෑ ඔය කෙහෙම්මල් බෙට් එක අතෑරලා දාන්න...."
"අනේ මේ හුත්තෝ....උඹ මං ගැන දන්නෑ වගේනේ කතා කරන්නේ... මම මේ බෙට් එක කන්ටිනිව් කරනවා ඇන්ඩ් අයි විල් වින් දිස් ෆකින් බෙට්.....දැට්ස් ඉට්....."
සනුත් සම්බන්ධයෙන් තමන්ට හැඟෙන දේ කිව්ව නිකිත් අන්තිමට නිහඬවම රිය ධාවනය කලේ තමන්ගේ වචන අපරාදෙ බව හිතමින්....
......................
.....මතුවට හමුවෙන තුරු........