Chapter 4 - 04

Day 01

කළු වලාකුළු අහස වහගෙන..... උදේ ඉඳන් කිසිම ඉඟියක්වත් නොදී.....එක පාරටම අහස අඬන්න වගෙයි සූදානම.....

සීරුම් තුවාල වලත් ඇදුම් කන දණහිසත් නිසා මුලු උදේ වරුවම කාමරේට වෙලා නිදාගත්ත මහිත් අහස දිහා බලමින් හැඩ උනේ නගරය පැත්තට රවුමක් දාලා එන්න හිතාගෙන.... මොකද සවින්ද දුන්න තොරතුරු වල හැටියට අද සනුත්ට KC සර්ගේ පන්තියක් තියෙන්න ඕන....

බේජ් පාට කොට කලිසමට කලු පාට හුඩියක් දාගත්තු  මහිත් කාර් එකේ යතුරත් වන වනා පහලට බැස්සේ පන්ති ඉවර වෙන වෙලාවට කලින් යන්න හිතාගෙන.....

මේ අතර පන්තියෙන් එළියට ආව සනුත්ට මූණ දෙන්න වුණේ ලොකු ගැටලුවකට.... උදේ ඇනෙක්සියෙන් එනකොට වැස්සක ඉඟියක්වත් නොවුණත් මේ වෙද්දි හතර වටම කලු කරගෙන හොඳටම වහින්න හදන්නේ....

කුඩයක්වත් ළඟ නැති වුණත් කරන්න දෙයක් නැති නිසාම පොත් බෑග් එකෙන් ඔලුවට පොඩි ආවරණයක් හදාගත්ත සනුත් බස් නැවතුමට දිව්වේ පුලුවන් තරම් ඉක්මණට ඇනෙක්ස් එකට යන්න හිතාගෙන....

මේ අතරෙදි මහිත් හිටියේ පන්තිය පෙනෙන නොපෙනෙන මානෙන් කාර් එක නවත්තගෙන....පන්තිය ඉවර වෙලා ළමයි එකා දෙන්නා වැස්සෙම එළියට එන හැටි බලන් හිටිය මහිත්ගේ ඇස් දෙක හෙව්වේ සනුත්ගේ චායාවක්....ළමයි සේරම වගේ ගිහින් ඉවරවෙලත් සනුත් පේන්න නැති නිසා මහිත් තරමක් නොසන්සුන් උනා....

"ශිට්.....මේකා අද ක්ලාස් ඇවිත් නැද්ද මන්දා....නිකම් රස්තියාදු වුණා විතරද මන්දා...."

නොසන්සුන් විදියට සුක්කානමට ඇඟිලි තුඩු වලින් තට්ටු දාන ගමන් තමන්ටම කියාගත්ත මහිත් අත් ඔරලෝසුව දිහා බලලා ආයෙමත් පන්තිය පැත්තට හැරුණෙ තව විනාඩි පහක් ඉවසලා බලනවා කියලා හිතාගෙන... පොත් බෑග් එකෙන් ඔලුව වහගෙන වටපිට බලමින් පාර හරහා මාරු වුණ සනුත් දැකපු මහිත් වාහනය පණගන්වාගත්තේ සුපුරුදු සෙල්ලක්කාර හිනාව කට කොණකට මතුවෙද්දි.....

......................

ඉඳිකටු තුඩු වගේ වැටුණු වැහි බිංදුවලින් බේරෙන්න පොත් බෑග් එකක් හොඳටම මදි.... පාර මාරු වෙලා බස් නැවතුමටත් කිලෝමීටර් භාගයක් විතර තිබුනු දුර දුවගෙන දුවගෙන වගේ ආව සනුත් බස් නැවතුමට ගොඩවුණා..... යන්තම් ඔලුව පොඩ්ඩක් නොතෙමී තිබුණත් ඇඳන් උන්නු සුදු ටී ෂර්ට් එක නම් හොඳටම තෙමිලා ඇඟටම ඇලිලා.... ඒ මදිවට කුණාටුවක් වගේ එන හුළං පාරවල් ඇඟ හිරිවට්ටගෙන යන්නේ සීතලට....

බස් නැවතුමේ හිටගෙන හිටපු සනුත් අත් දෙකෙන්ම කොණ්ඩේ තිබුණු වතුර බිංදු ගසලා කොණ්ඩේ අවුස්සගත්තේ ඔලුවත් යම් තරමකට තෙමිලා තිබුනු නිසා..... වැහි බීරම නිසාම කිසිම දෙයක් නොපෙනෙන ගාණට පරිසරය කලුවර වෙලා.... තමන් ඇරෙන්න වෙන කවුරුත් බස් නැවතුමේ නැති නිසා ඇඳන් උන්නු ටීශර්ට් එකේ ගලවපු සනුත් ඉක්මණට වතුර ටික මිරිකලා නැවත ඇඳගත්තේ වතුර බේරි බේරි බස් එකක යන්න බැරි නිසයි....

මේ අතර හෙමින් හෙමින් සනුත්ව ෆලෝ කරන් ආව මහිත් වාහනය ඇතුලට වෙලා මේ සේරම දේවල් බලාගෙන හිටියේ අර කට කොණකට එන හිනාව එහෙමම තියෙද්දි....

තවත් මොහොතක් බලා ඉඳපු මහිත් වාහනය ඉස්සරහට ගත්තේ අලුත් සැලසුමක් හිතමින්.....

බස් නැවතුම ඉස්සරහ නවත්තපු කළු පාට වාහනය දිහා ඇස් හීනි කරලා බලපු සනුත් ආයෙම පාරට එබුනේ බස් එකක් එනවද බලන්න....ඒත් එක්කම නතර කරලා තිබුනු වාහනේ මගී ආසනේ ශටර් එකෙන් පෙණුනු මුහුණක් සනුත්ට කතා කලා....

"මල්ලි....කොහෙ යන ගමන්ද මේ ???"

"ආ...මේ..... ක්ලාස් ගියා අයියේ..."

ඊයෙ තමන්ගේ ඇනෙක්ස් එක ඉස්සරහ වැටිලා උන්නු මනුස්සයා අදත් අහම්බෙන් වගේ හම්බුණාම සනුත්ට පුදුමත් හිතුනා....

"මමත් මේ බයික් එක හදන්න දැම්ම ගැරේජ් එකට ගිහින් එන ගමන්.... මල්ලිව දැකලා නතර කලේ.....ගෙදරද යන්නේ...?"

"ඔව් අයියේ ගෙදර යන්න කියලා...."

මේ වෙලාවෙ තමන් මෙතන ඉන්නෙ හරිම අහම්බයකින් කියලා අඟවන්න මහිත් ඒ විදියට බොරුවක් ගෙතුවා....

"එහෙනම් මාත් එක්කම යන්න පුලුවන්නේ....මම ගෙදරින් ඩ්‍රොප් කරන්නම්...."

"අනේ කරදර වෙන්න ඕනි නෑ අයියේ...මම බස් එකේ යන්නම්..."

"මට ඒක කරදරයක් නෙවේ මල්ලි...අනික ඊයෙ ඔයා මට කරපු උදව්වට මට ඔයාට හරියට තෑන්ක් කරන්නවත් බැරි වුණානෙ....."

සනුත්ව ගෙදර එක්කරගෙන යන්න මහිත් කැමති වුණත් සනුත් කැමති වුනේ නෑ ඒ යෝජනාවට....

"වැස්සත් හොඳටම වැඩී.....තව ඉන්න ඉන්න රෑ වෙනවනෙ...මම ඔයාව ඇරලවන්නම් ළමයෝ...ගෑනු ළමයෙක් වගේ බයවෙන්නෙ මොකද මේ....

බලවත් පෙරැත්ත කිරීම් කීපෙකින් පස්සෙ සීතල දරාගන්නම බැරි තැන ඕනි එකක් කියලා හිතුව සනුත් කාර් එකට නැග්ගා.....

"ඔයාට සීතලයි නේද...ඉන්න මම AC ඕෆ් කරන්නම්..."

"ම්ම්ම්...තෑන්ක්‍යූ අයියේ....කරදරේ ඔයාට මම හින්දා...."

"ඕක මොකද්ද ළමයෝ....අනික ඔයා ඊයෙ මට කරපු උදව්ව....ඒක කොච්චර ලොකු දෙයක්ද...."

වාහනයේ යන අතර තුර සනුත් එක්ක කතා කරන ගමන්....රේඩියෝව ඔන් කරපු මහිත් ශබ්දය තරමක් වැඩි කලා.....

I had to find you

Tell you I need you

Tell you I set you apart

Tell me your secrets

And ask me your questions

Oh, let's go back to the start

වාදනය වුණු ගීතය මහිත්ගේ ප්‍රියතම ගීතයක්...ගීතයට සමාන්තරව මහිත් ඒ ගීතය මුමුණන්න ගත්තේ... සනුත්ගේ ඇස් ඒ පැත්තට යොමු වෙද්දි.....

Running in circles

Coming up tails

Heads on, a science apart

Nobody said it was easy

It's such a shame for us to part

Nobody said it was easy

No one ever said it would be this hard

Oh, take me back to the start....

"මේක මගේ ෆේවරිට් සෝන්ග් එකක්....ඒ මූවි එක බලලා තියෙනවද???"

"ම්ම්...එක පාරක් බැලුවා...."

"එකපාරක් විතරක් බලපු එක නම් අපරාදෙ...."

මහිත් ඇහැක් ගහලා එහෙම කිව්වෙ සනුත් බිම බලාගෙන හිනාවෙද්දි.....

"මෙච්චර උදව්වක් මට කරපු කෙනාගෙ නමවත් මම දන්නෑනෙ.... නම දැනගන්නෙවත් කොහොමද ගොලු බෙහෙත් බීලා වගේනෙ ම්ම්ම්... මම මහිත් අභිමාන්‍ය ....මල්ලි...??"

බිම බලාගෙන හිනාවුණු සනුත්ගේ කන්පෙති ලැජ්ජාවට රතු වෙලා තිබුණු හැටි තප්පරේකට බලන ගමන් මහිත් ඊලඟ ප්‍රශ්නේ යොමු කලා....ඇත්තටම මහිත් කියන්නෙ හිනාවෙන් කතාවෙන් විතරක් නෙවේ එක බැල්මකින් උනත් ඕනිම මනුස්සයෙක්ව වසඟ කරගන්න පුලුවන් විදියෙ කෙනෙක්....

හැබැයි සනුත් සම්බන්ධයෙන් නම් ඒක ඒතරම් ලේසි නෑ කියලා මහිත්ට දැනටම තේරිලා....ඒ නිසා තමයි මේ හැම උපායක්ම දාන ගමන් සනුත්ව තමන්ට ඕනි මාර්ගෙට ගන්න මහිත් ට්‍රයි කරන්නෙ....

"සනුත්.....සනුත් යුහංස...."

"ලස්සන නමක්නේ....ඉතින් සනුත්....ක්ලාස් ගියා කිව්වනේ....ඒලෙවල් කරනවද ..?"

"ඔව් අයියේ...."

"මොනවද ස්ට්‍රීම් එක...?"

"ඊ-ටෙක් වලින් කරන්නෙ අයියේ...."

"ම්ම්ම්ම්....හොඳයිනේ... අමාරුද සබ්ජෙක්ට්???..."

"එහෙමමත් නෑ..."

"සීතලයි නේද සනුත්....මොනා හරි බීලා යමුද...."

"එපා අයියේ...මට මුකුත් එපා..."

"හරි හරි...ඔයාට එපා වුණාට මට නම් මොනාහරි ඕනි...ඔහොමම විනාඩියක් ඉන්න හොඳද...."

පාර අයිනේ තිබුණු කොෆී ශොප් එකක් ළඟ වාහනේ නවත්තපු මහිත් පර්ස් එකත් අරගෙන එළියට බැස්සේ සනුත්ට වාහනේ ඇතුලට වෙලා ඉන්න කියන ගමන්...

මේ වෙනකොට වැස්ස තුරල් වෙලා පොඩි පොදයක් විතරක් වැටුණත් වැහි අඳුර නම් මැකිලා තිබුණෙ නෑ.... පොඩි කඩදාසි බෑග් දෙකක් අතින් අරන් ආව මහිත් එකක් සනුත්ගේ උකුලට දාලා අනිත් එකෙන් ගත්තු Cappuccino කප් එකක් සනුත්ට දිහාට දික් කරා....

"අනේ...මට එපා අයියේ.... "

"පිස්සු නැතුව බොන්න ළමයෝ...ඔය බෑග් එකේ ඇති ගැටෝ කෑල්ලකුයි...පේස්ට්‍රි වගයකුයි....කන්න"

"ඒත් අයියෙ..."

"ඒත් මේත් නෙවෙයි සනුත්... බොන්න ඕක..."

"........"

"හරි ඕක බොන්න බෑ නම් අල්ලල විසිකරන්න මල්ලි....වස දාලා නෑ ඕකට ...."

Cappuccino කෝප්පය අතේ තියාගෙන තොලත් හපන් කල්පනා කරන සනුත් දිහා බලපු මහිත්ට ඇති වුණේ කේන්තියක්..... ඒ කේන්තියෙන්ම වාහනය ස්‍ටාට් කරගත්තු මහිත් නිහඬවම වාහනේ ඉදිරියට අරගෙන ගියා....

මහිත්ට කේන්ති ගියා කියලා තේරුණු සනුත් හරිම අපහසුතාවයකට පත් වුණා.... මහිත්ට වගේ තමන්ට ඉක්මණින් නන්නාඳුනන අය එක්ක සමීප වෙන්න බැරි බව මහිත්ට පැහැදිලි කරන්න හිතුනත් ඒක කියන්න තරම් හයියක් නෑ වගේ දැණුනු සනුත් කෝපි එක දිහා බලාගෙන නිය කොණකින් කෝප්පය කොනිති ගහන්න වුණා....

වාහනේ යන අතරමග සැරින් සැරේ ඇස් කොණින් මගී ආසනය දිහා බලපු මහිත්ට පෙණුනේ එකම ඉරියව්වෙන් බිම බලාගෙන කෝප්පය කොනිති ගහන සනුත්ව...

තාම කෝපි එක අල්ලලවත් නෑ.... ලේසි ගණන්කාරකමක් නෙවේ මුගෙත් තියෙන්නේ.... ඕකේ දෙන්.... මමත් හරි කැමති නිදාගෙන ඉන්න මුවෙක්ට වඩා දුවන මුවෙක්ව අල්ලගන්න....

සුක්කානමට ඇඟිලි තුඩු වලින් නොසන්සුන් තාලෙට තට්ටු කරන ගමන් මහිත් හිතුවා.....

"සනුත්....අයෑම් රියලි වෙරි සොරි... මට පොඩ්ඩක් අවුල් ගියා ඔයා ඒක නොගෙන ඉන්නකොට...."

"හ්ම්ම්....කමක් නෑ.... මටත් සමාවෙන්න ඒ වැඩෙන් ඔයාගෙ හිත රිදුනනම් ....."

"නෝ ඉට්ස් ඕකේ සනුත්.... පරිස්සමට ඉන්න....ඊයෙ කරපු උදව්වට ගොඩක් ස්තූතියි..."

"හරි අයියේ....."

ඇනෙක්සියේ ගේට්ටුව ඉස්සරහා වාහන නවත්තලා සනුත් දිහාට හැරුණ මහිත් සනුත්ගෙන් සමාව ඉල්ලුවා.... සනුත්ගෙනුත් ධනාත්මක විදියට පිළිතුරක් ලැබෙද්දි සනුත්ට සමු දීපු මහිත් පටු පාර දිගේ ඉදිරියට ගිහින් කාර් එක නැවත හරවගත්තා...

......................

"අම්මා....මට හිතෙනවා මම ඉන්ට්‍රෝවර්ටඩ් වැඩිද කියලත්....."

"ඇයි පුතාට එහෙම හිතුනේ??..."

"මට මහ ලොකුවට යාලුවෝ ඇත්තෙත් නැහැ....යාලුවෝ හදාගන්නත් දන්නේ නෑ මම....අඩු තරමේ මගේත් එක්ක යාලු කමක් හදාගන්න එන කෙනෙක්ට රියැක්ට් කරන්න ඕනි විදිය වත් මම දන්නෑනෙ අම්මි....."

"කවුරුහරි ඔයාත් එක්ක යාලු කමක්, බැඳීමක් හදාගන්න හදනවනම් ඔයාට පුලුවන් එයාට අවස්ථාවක් දෙන්න.....මම කියන්නෑ ඔයා හදාගෙන තියෙන ඔය රාමුව බිඳලා දාන්න කියලා....ඔයාට පුලුවන් එයාට ඒ රාමුව ඇතුලට එන්න ඉඩක් හදලා දෙන්න...."

"ඒ කොහොමද අම්මේ..."

"ඔයාට පුලුවන් එයත් එක්ක ටිකක් ඕපන් වෙන්න....එහෙම නැත්තම් එයා ඔයා එක්ක ෆ්‍රෙන්ඩ්ශිප් එකක් හදාගන්න හදද්දි ඔයා එයාව රිජෙක්ට් නොකර ඉන්න...."

"මට තේරෙන්නෑ අම්මේ...."

"ඕනිවට වඩා හිතන්න යන්නෙපා පුතේ ....ඒකෙන් ඔයාව ස්ට්‍රෙස් වෙනවා...."

හවස මහිත් එක්ක වුණ සිද්ධිය නිසා තරමක් පීඩනයකින් හිටපු සනුත් අම්මා එක්ක කතා කලේ පීඩනය නැති කරගන්න හිතාගෙන....මතුපිටින් පේන සනුත්ට වැඩිය ඇතුලාන්තයේ ඉන්න සනුත් වෙනස්ම චරිතයක් උනා....සිංදු කියන්න....චිත්‍ර අඳින්න වගේ කලාකාමී හැකියාවන් තිබුණත් ඒවා තමන්ගේ සීමාව ඇතුලේ ඉන්න අය එක්ක විතරක් බෙදාගන්නයි සනුත් පුරුදු වෙලා හිටියේ....

ගමක ජීවත් වුණු සනුත්ට පොඩි කාලේ...පාසල් වයස ඒ තරම් සුන්දර කාලයක් උනේ නෑ.....මතක ඇති කාලෙක ඉඳන්ම තාත්තාගේ ඡායාවක්වත් මතක නැතත් තාත්තා ගැන සනුත්ට ප්‍රශ්නයක් නොතිබ්බත්....ගමේ මිනිස්සුන්ට....පාසලේ යාලුවන්ට...සමහර දෙමව්පියන්ට .... ඒ විතරක්ද....සමහර ගුරුවරුන්ටත් ප්‍රශ්නයක් වුණා...

ඉඳහිට තාත්තගේ නොමනා ක්‍රියාකලාපයක් ගැන ගම පුරා ආරංචි පැතිර යද්දි මිනිස්සු; අම්මගෙන් තාත්තාගෙන් අහන්න ඕනි ප්‍රශ්න පුංචි සනුත්ගෙන් අහද්දි; මැරෙන්න තරම් හිතුනු අවස්තා සනුත්ට  තිබුණා....

අවුරුදු 12ක් තරම් පුංචි වයසකදි මානසික පීඩනය දරාගන්නම බැරි තැන ජීවිතේ දාලා යන්න තීරණය කරපු අවස්ථාවක වාසනාවකට වගේ මාමගේ මැදිහත් වීමෙන් සනුත්ගේ ජීවිතේ බේරුණා...

පළවෙනි වතාවට සනුත්ට කම්මුල් පාරක් ගහපු අම්මා.....සනුත්ව ඇදගෙන ගියේ තාත්තගේ ගෙදරට.....

"මේ ඉන්නේ පුතේ උඹේ තාත්තා....ඉපදුනු දවසේ ඉඳන් උඹට කලිසම් කෑල්ලක් අරන් දෙන්න බැරි වුණු තාත්තා.....උඹ ආසා දෙයක් කන්න අරන් දෙන්න බැරි වුණු තාත්තා....අම්මා දුක් විඳලා මහන්සි වෙලා උඹේ කරට දාපු පංචායුධ පෙත්ත  උකස් කරලා ගිහින් කුඩු ගහපු උඹේ තාත්තා....

රස්සාවකට ගිහින් හම්බ කරන් එන තුට්ටු දෙක දුන්නැති වුනාම ගෙදර බඩු පොළවේ ගහපු උඹේ තාත්තා...අවුරුදු දෙකේදි උඹව අරන් මම යන්න ගියාම උඹ බලන්න කිලෝමීටර 7ක් එකම එක දවසක්වත්.....එක දවසක්වත් නාව තාත්තා...

උඹ බඩේ ඉද්දි කන්න ආසා හිතුනු දෙයක් ගෙනත් දෙන්න....ආදරෙන් වචනයක් කතා කරන්න බැරි වුණු උඹේ මේ තාත්තා වෙනුවෙන් උඹ අද මැරෙන්න ගියේ...

තීරණය කරපන් පුතේ.... මේ වගේ තාත්තෙක් වෙනුවෙන් මැරෙනවද....නැත්තම් උඹ බඩට ආව දවසේ ඉඳන් අද වෙනකම් .....මේ තප්පරේ වෙනකම්ම උඹ වෙනුවෙන්ම ජීවත් වෙන මේ අම්මා වෙනුවෙන් ජීවත් වෙනවද කියලා....."

අම්බලමක් වගේ ගෙදරක් මැද්දෙ අවසිහියෙන් වැටිලා උන්නු කැහුටු ගැහුණු පිරිමි රූපේ පෙන්න පෙන්න එකින් එක කිව්ව අම්මා අන්තිම ටික කියද්දි හඬා වැටුණා.....කවදාවත් අඬනවා නොදැක්ක....මහ හයිය යෝධ ගෑණියක් විදියට අම්මව දැක්ක සනුත්ට අම්මාගේ ඇස් දෙකෙන් වැටුණු කදුලු බිංදු දරාගන්න බැරි වුණා.....අම්මාගෙ කකුල් දෙක අල්ලගෙන අඬපු සනුත් කිව්වෙ.....

"මට අම්මා විතරක් ඇති අම්මේ....මගේ අම්මයි තාත්තයි දෙන්නම ඔයා....මට සමාවෙන්න අම්මේ.....මට සමාවෙන්න...."

එදා ඉඳන් බාහිර මිනිස්සු මොනා කිව්වත් ඇහුවත් නෑහුණා වගේ ඉන්නත්...තමන්ටම කියලා හදාගත්තු රාමුවක් ඇතුලේ ජීවත් වෙන්නත් සනුත් පුරුදු වුණා.....

......................

.....මතුවට හමුවෙන තුරු........